Monday, November 12, 2012

සදාතනික ඇත්ත....

 

ඇස් නිල් අහසට උස්සල අහස බැලුවේ හිත අනන්තයක නතර කරන්නම හිතාගෙන නෙමේ....
නිල්  අහසේ රත්තරන් පාට කවලම් වෙලා හැදුන  රෝස පාට වලාකුළු ඉබේටම මගේ මතකය අනන්තයකට අරන් ගියා....
හිත දුරට දුරට පියාඹල ගිහින් නතර උනේ නුඹේ ආදරණීය මතකය ළඟ....
හ්ම්ම්ම්ම්ම් ඒ මතකය හරිම ලස්සනයි නේද????
මම ආසාවෙන් මතක් කලා... ඔයා  මගෙන් ආදරේ ඉල්ලපු ඒ දවස...

උඩ පැන  පැන කෑ  ගගහ ඉන්න වෙලාවක..
හදිස්සියේම.... ඔයා ඒ දේ මගෙන් ඇහුව.. මට මෙලෝ දෙයක් තේරුනේ නෑ ඉතින්....
මම ටියුබ් ලයිට්නේ  හැමදාමත් ඔයා කියන විදිහට නම්...

ඈහ්... මොකක්ද කියන්නේ දැන් ඔයා මේ???  මගේ දඟකාර කම ඔයාට උත්තර දුන්නා...

නංගා....
මම සීරියස් කතා කරන්නේ... කියනවකො...

මොකක්ද අප්පා අහන්නේ...???? වද  නොදී ඉන්නවකෝ අය්යෝ....

ඔයා මගෙන් ඒ ගැන ආයෙත් කවදාවත් ඇහුවෙත් නෑ ...
කවදාවත් මම ඔයාට කැමතියි කිව්වෙත් නෑ ...
ඒත් ...
අපි ආදරේ කලා.. ඔයාට මතකත් නැතුව ඇති...
මම උන්නේ කිරිල්ලියෙක් වගේ...
ඔයා මට නිදහසේ පියාඹන්න අහසක් උනා...
අම්මල ඒ අහස තවත් ලොකු කරලා බාදක කඩොලු අයින් කරලා දුන්නේ අපි ආදරෙන් ඉන්න බව එයාලට දැනුන නිසා වෙන්න ඇති...
කාලය හිමින් හිමින් ගෙව්නේ  ජීවිතේ උස් තැන්  පහත්  තැන්  මට අපූරුවට අවබෝධ කරන ගමන්...
ඒ එදා...

අද....
මේ ලස්සන ඉර බැහැල ගිහින් හෙට එළිවෙන ජාමේ මම ආසාවෙන් එක එක ස්ටයිල් දාපු මගේ කොන්ඩේ  වෙනුවට මුඩු  හිසක් මට උරුම වේවි...
දිගට කොටට රැලි රැලි... අන්දපු ස්කර්ට් ...
පාට පාට ඩෙනිම් වෙනුවට තනි කහ පාට ඇඳුමක් ....
මම මෙහෙම වෙනස් උනේ කොහොමද ඇත්තටම????

චුටි දෝණි ... ඔයාට මේ ජීවිතේ හුරු වෙන්න බෑ මගේ පුතේ... ඕක හිතෙන්  අයින් කරන්න...
අම්මා කොච්චරවත්නම් මට කියන්න ඇත්ද????
එත් නුඹේ වියෝවෙන් දුක් වින්ද මගේ හිතට බුදු පාමුල ඇරෙන්න වෙන සරණක් නෑ ....

තත්පර ගෙවෙන්න ඇති....
මිනිත්තු ගෙවෙන්න ඇති....
පැය  ගෙවෙන්න ඇති....
නොදැනීම පාන්දරත් වෙන්න ඇති...
කොහොමත් නුඹේ මතකයන් එක්ක මට වෙලාව යනවා දැනෙන්නේ නෑ  කවදත්....

දෝණි ... යමුද????
හොඳට හිතල බලන්න... නවතිනවානම් තවමත් වෙලාව තියෙනවා....

නෑ  මෑණියෝ...
යමු...
නවතින්න තමා මමත් මේ ගමන යන්නේ...

සුදු වැලි පොලව දිගේ හිමිහිට පා තියල ඇවිදන් යනකොට ආයෙත් හිත ඈතට දිව්වා...

ම්ම්ම්... මොකෝ මේ... ???

ඇයි???

මහණ වෙන්නද ඉන්නේ...

අපෝ නෑ ...
ඔයාව බැඳලා  පව්ල්  වෙන්න තමයි ඉන්නේ???

නඟා... කට වැඩියි හොඳේ....

ඒ මගේ හීනේ...
එදා මට හීනෙන්වත් හිතුනේ නෑ  ඒ හීනේ දකින අන්තිම දවස එදා කියල...

ඔව් අයියේ...
අඩුම  මාව දාලා යන්නම යන්න  නොයා වෙන කෙනෙක්ගේ වෙලා හරි මේ ලෝකේ උන්නනම්...
මම දුක් වෙන්නේ නෑ ...
ඔයා අපි සේරමව දාල  ගියේ මොකද කියල හිතා ගන්න බෑ මටනම්....
ඔයා ගියා...
ඒත් .. මට සදාතනික ඇත්ත ඔප්පු කරලා යන්න ගියා....


අත්ථි  ඉමස්මිං  කායේ..   කේසා.. ලෝමා.. නඛා.. දන්තා.. තචෝ... මංසං.. නහරු.. අට්ඨි..
මේ ඇහෙන්නේ සත්‍යයේ හඬ...
අපි නොපිලි ගන්න ඇත්ත....
කෙස් රොද  රොද  ඔඩොක්කුවට වැටෙද්දී හිත සැහැල්ලු උනා...
ඔයාව මතකයෙන් ඈත් කරලා...
හිත නිවාගන්න කාලේ හරි...
ටිකකට කලින්  උඩරට මනමාලියක් විදියට ලස්සනට හිටපු මගේ රූපය වෙනස් වෙද්දී බලන් ඉන්න බැරි උන අම්ම... එතනින් යනවා මම බලන් උන්නේ කඳුළු පුරෝගෙන...
අම්මේ මම අදින් පස්සේ නිදහස්...
මේක තමයි ඇත්ත....
ලෝ පවතින දහම...

ඔයාට පින් අයියේ..
ඔයා මට ඔප්පු කරලා ගිය ඇත්ත...
අපි එතෙර වෙමු...
මම පටන් ගන්නම් ඔයත් එන්න...  
හිත සැහැල්ලුවෙන් මම කසාවතට හුරු උනා...

ඉදම්මේ  ඥාති ඉමං හෝතු ...

හිත පුරාවටම ඔයාට පින් දීල... මම හිතෙන් ඔයාව අයින් කලා ...
අදින් පස්සේ මම....

සුමනා සිල් මෑණියෝ....

ජීවිතේ පුදුමයි නේද????
සංසාරේ ආයෙත් අපි මුණ ගැහෙයි...
එදාට අපි දෙනන් මේ ගමන එකතු වෙලා එකටම යමු...
අපි ගිවිස ගමු....
ඔයා එනවා නේද????

මම දන්නවා මේ තරම් කාලයක් මුකුත්ම නොකියම බෑ  නොකියම... හෙමීට මගේ පා සලකුණු දිගේ ආපු ඔයා...
හැමදාටම මේ සසරින් එතෙර වෙනකල් මාත් එක්කම ඒවි....
මට විශ්වාසයි....


4 comments:

  1. ආදරයයි සසරයි පටලවගත්ත ආදරයක්....ඒ මහණදම විකාරරූපියි.....

    ReplyDelete
    Replies
    1. ආදරයයි සසරයි පටලවාගෙන නෙමේ සහෝ...
      මම ලිව්ව කතාව ඔයා පටලවා ගන්නෙපා...
      මම ලියපු කතාව මතුපිටින් ස්පර්ශ කරලා නොබලා ඇතුලතින් විමසලා බලන්න..
      ඔය කියන විදිහට ආදරයයි... සසරයි පටලවා ගත්ත කියනවා නම්...
      පටාචාරාවන්.... ඛේමාවන්.... ඇතුළු බොහෝ දෙනෙක්ට ඔය කියන විකාර රූපී බව කියන්න ඔයාට සිද්ද වෙනවා..
      මම අදහස් කලේ මිනිස්සු වියෝව අත්වින්ද දාට ඒ තුලින්ම නිවනට යා යුතු නියම මග හා සැහැල්ලුම මග තෝරා ගන්නවා යන්න කියන එක විතරයි...
      ඇත්තම ආදරයක් කියන්නේ සසරින් එතෙර වෙන්නත් ලොකු අත්වැලක් සහෝ....
      එක නිසා තමයි සිද්ධාර්ථ කුමාරයා යශෝදරාවම තමන්ගේ ජීවිතයට ආත්ම ගානක ඉඳන් මුහු කර ගත්තේ..

      Delete
  2. ඔයා මගෙන් ඒ ගැන ආයෙත් කවදාවත් ඇහුවෙත් නෑ ...
    කවදාවත් මම ඔයාට කැමතියි කිව්වෙත් නෑ ...
    ඒත් ...
    අපි ආදරේ කලා.. ඔයාට මතකත් නැතුව ඇති...
    මම උන්නේ කිරිල්ලියෙක් වගේ...
    ඔයා මට නිදහසේ පියාඹන්න අහසක් උනා...
    අම්මල ඒ අහස තවත් ලොකු කරලා බාදක කඩොලු අයින් කරලා දුන්නේ අපි ආදරෙන් ඉන්න බව එයාලට දැනුන නිසා වෙන්න ඇති...
    කාලය හිමින් හිමින් ගෙව්නේ ජීවිතේ උස් තැන් පහත් තැන් මට අපූරුවට අවබෝධ කරන ගමන්...

    ReplyDelete
    Replies
    1. :)...
      හිතට වැදුනේ මෙතන වෙන්න ඇති නේද???

      Delete