Sunday, September 2, 2012

මගේ ආදරණීය දෙවැනි අප්පච්චි...

වැඩි විස්තර අටුවා ටීක නැතුව කතාව ලියන්න බලන්නම්කෝ....

මම ඉස්සර ඉඳන්ම ගණන් වලට ආසයි එත්.. මම 8 වසරට ගිහින් දෙවැනි වරේ විභාගෙට මට ගණන් වලට ලකුණු 24ක් උනාට පස්සේ මට තේරුණා මට කෙල වේගෙන එනවා කියල..
හෙමීට අම්මට කිට්ටු කරලා වචනේ දැම්ම..
"අම්මේ.. ගණන් පන්තියකට ගියානම් හොඳයි වගේ.. "
( මේ වෙනකොට අම්ම මගේ රිපෝර්ට් එක දැකල තිබ්බේ නෑ.. මම පෙන්නුවෙත් නෑ ඉතින්.... :)   )
ඒ මොකෝ...? අම්ම ඇහුවේ ඇස් දෙක උඩ තියන් .. කවදාවත් පන්ති යන්නේ නැතුව හිටපු මම එහෙම ඇහුවම අම්ම වැඩේ ගැන දැනගත්ත...
කොහොමින් කොහොම හරි අපේ ගෙවල් වලට උඩ ගෙදරක අක්ක කෙනෙක් කිව්වා... සිද්ධමුල්ල පැත්තේ ගණන් සර් කෙනෙක් ඉන්නවා සුදු අම්මේ.. ගිහින් බලන්න එහෙනම් කියල...
(මම හිතන්නේ ඒ මගේ ඉෂ්ට දේවතාවී තම අක්ක වගේ පෙනී ඉන්න ඇත්තේ...:

මම පන්තියට ගිය මුල්ම දවසේ කොටම කොට කෙට්ටුම කෙට්ටු වයස සර් කෙනෙක් හිටියේ පන්තියේ.. එදා උන්නෙත් මම විතරයි...
"අපෝ... අම්මේ එකටනම් යන්න බෑ ඔන්න මටනම්.. "  සර්ව දැක්ක ගමන් මම අම්මට කිව්වා..
අම්ම මට ඔරවල එහෙම කාරිය.. " සර් මේ මගේ දුව.. මට මෙයාව පන්තියට දාගන්න පුළුවන් වෙයිද " ඇහුව..
කන්නාඩිය උඩින් බලල සර් මගේ නම ඇහුව..
මි*#.. මම හෙමීට කිව්වා..
"ඇයි මේ පංති එවන්නේ දරුවාව.. ඒ තරමටම දුර්වලද???"  සර් ඇහුවා..
අම්ම මගේ මූණ බැලුවා..
සර් මාව "එන්න දරුවෝ.." කියල හෙමීට ලඟට අරන් මගෙන් ඇහුව " ගණන් අමාරුද පුතේ " කියල...
මම ඔලුව වැනුවා විතරයි...
" හා.. අම්මා ගිහින් හවස 6.30 ට - 7 ට  වගේ එන්නකෝ..."
සර් පන්තියට සල්ලි..??? අම්මා  ඇහුවේ හිමින්..
" ම්ම්ම්ම් පස්සේ බලමුකෝ.. හවසට.. " සර් එහෙම කිව්වා..
" හා.. මිලියනෙකට බින්දු කීයද??? "  හෑ... දීපන්කො උත්තර... මේ.. මේ.. මට මිලියනෙයි බිලියනෙයි ට්‍රිලියනෙයි සේරම ටැපලිලා..
" දන්නේ නෑ.. " මම මගේ අවංක කම ඉස්සරහට දැම්ම..
එදායින් පටන් ගත්ත මගේ ගණන් පන්තිය.. ජීවිතේ නොමැකෙන තැනක් .. රන් අකුරින් සනිටුහන් උන තැනක් උනා...
ආආආහ් කියන්න අමතක උනා...
හවස අම්ම ආවා.. " සර් සල්ලි... " 
" ආහ්..100යි.. "
ඈ.. 100යි.. අම්ම හොල්මන්.. මම ඊටත් ටිකක් උඩින්.. යකෝ මගේ පන්තියේ අනිත් උන් පන්ති වලට 1000ක් ගෙවනවා.. මෙතන 100යි ලු..

ජීවිතේ වැඩියෙන්ම හිනා උනේ..
කෑ ගැහුවේ..  හූ තිබ්බේ..  සින්දු කිව්වේ..  ගුටි කෑවේ..  බැනුම් ඇහුවේ.. රැග් උනේ.. බයිට් උනේ.. වගේම..
ජීවිතේ වින්දෙත් එතනදීම තමා..
අපි කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක් උන්න ටික දවසක් යනකොට.. උන් නම් කොහෙන් කොහෙන් එකතු උනාද දන්නේ නෑ...
මට හරි පුදුම ඉස්කෝලේ කතාව කියවද්දී මතක් වෙන්නෙම මගේ ගණන් පන්තිය..
මට හිතෙන්නෙම මම ටෝට්ටෝ චන්.. මගේ සර් තමා එකේ හිටිය ගුරුතුමා කියල..
අපොයි ඒ කාලේ අපිට ලැබුන රැග් නම් කියලා වැඩක් නෑ..
ගානක් හද ගන්න බැරි උනොත් බෝර්ඩ් එකට ගන්නවා..
" හා.. එන්න බලන්න බෝර්ඩ් එකට.. මොකෝ ඔය ගාණ ඔච්චරටම අමාරු කියල බලන්න.. "
හෑ... ලෝක විනාසේ තමා...
ඇස් දෙක පියාගෙන වගේ ගාණ හදන්න ගත්තා..
යකෝ මේක මැජික් බෝර්ඩ් එකක්ද.. මට හදාගන්න බැරි උන ගාණ මෙන්න මමම හදලා..
" ආහ්.. ඔය හැදුවේ අගේට.. පුතාට බෝර්ඩ් එකේ ලියන්න ආසාවටද ගාණ බෑ කිව්වේ??? "
වස නෝන්ඩියයි.. ඈ බන් උඹට බෝර්ඩ් එකේ ලියන්න ඕනේ කිව්වනම් පන්තියට ඇවිත් කෑ ගගහ උන්න වෙලේ අපි චෑන්ස් එකක් අරන් දෙනවනේ..
පිටිපස්සෙන් චිට් එනවා පෝලිමේ.. මඩ ගහල..

ටිකෙන් ටික සර් මට ගොඩක් ලෙන්ගතු උනා.. සර්ට උන්නේ එක දුවයි.. ඒ අක්ක උන්නේ වාසිටියේ..
සර් අක්කට කතා කලේ ලොකු දූ කියලා..
කාලයත් එක්කම මම සර්ගේ පොඩ්ඩි උනා..
මගේ කෑ ගැහිල්ලටයි.. දාන්ගලේටයි මගේ සර් මට ආදරේ උනා.. ඇත්තටම මම ළමයෙක් වගේ ඉන්න ඕනේ කලේ උන්නේ ළමයෙක් වගේ..
( දැන් නම් තරුණයි.. එත්.. තාමත් බබා වගේ තමයි... හික්ස්... )
හෙමීට දවස් ගෙවුනා.. 8... 9... 10... 11...
සර්ගේ පන්තියේ බලාපොරොත්තුව උනේ මම..
" මගේ A එක.." සර් නිතරම මට එහෙම කිව්වා..
මමත් උන්නේ සර්ට පොරොන්දු වෙලා.. A එකක් දෙන්න..
දෙසැම්බරේ පටන් ගන්න කලින් නොවැම්බරේ අග වගේ.. මමයි යාළුවොයි ගිහින් සර්ට වැඳලා එතනින් සමුගත්තා..

ජීවිතේ පලවෙනි පාරට වියෝ වීම වේදනාකාරී බව මට ඔප්පු උනේ එතන..
එපා වෙනකල් ඇඩුවා.. අපි සේරම යාළුවො...
සර්ගේ ඇස් වල කඳුළු.. සර් කඳුළු හංගගෙන හිනා වෙනවා.. මිසුයි.. අක්කයිත් දුකින්.. " පොඩ්ඩිගේ කෑ ගැහිල්ල නැතුව පන්තිය පාලු වෙයි.. " මිස්ට ඒ වචන ටික කිය වෙනවත් එක්කම ඉකි ගැහුනා..
කොහෙන් ආපු සම්බන්ද කමක්ද මේක????
කොහෙන් ආවත් අම්මෙකුයි අප්පච්චි කෙනෙකුයි වගේ උන්නේ ඒ දෙන්න අපිට..

කොහොම හරි විභාගේ දවසේ උදේ මට කවදාවත් තිබ්බේ නැති අන් දෙක මෝදු උනා කියපන්කො..
මම විභාග ශාලාවේ උන්නේ වැඩ බැරි ළමයෙක් ළඟ..
ඔන්න මම වෙඬරු පිඩක් වෙලා..  අර ළමයට ලොග් පොත පිටි පස්සේ ගණන් 3ක්ම ලියල දුන්නා හදන විදියත් එක්කම..
ඉතින් ඒ පින් බෙලෙන්.. මගේ වාසනාව උපරිමේටම ගිහින් ගණන් 8න් 5ක් හදනකොට බැල් එක ගහල පේපර් එකතු කළා..
මම ශාලාවෙන් එලියට අවේ ඊරියෙක් වගේ අඬාගෙන..
කෙලින්ම සර්ගේ ගෙදර ගිහින් පෙරලි පෙරලි ඇඩුවා..
" මට විභාගේ ෂුවර් නෑ සර්.. " සර්ගේ ඇහේ කඳුළු.. " මගේ තිබ්බ එකම බලාපොරොත්තුව ඔයා පුතේ..
මට ඕනේ උනේ ඔයාව උසස් පෙලට ගණන් වලින් යවන්න.. "
මම බිම බලාගත්ත.. අනේ මගේ පොරොන්දුව..
රිසාල්ට් ආවා.. ඉස්කෝලේ ගියේ ආවට ගියාවට..
ශීට් එක ගත්තගමන් ගණන් ළඟ ඇස් නතර උනා..
B එකක්.. අනේ දෙවියනේ... අදහන්නත් බෑ.. හුරේ... සර්.. මට B එකක් තියෙනවා...
" ඔහ්හ් ඒ කියන්නේ ඔයා හදපු සේරම ගණන් ටික වරද්දන්නෙ නැතුවම හදලා.. නැත්තම් ඔය රිසාල්ට් එක එන්න විදියක් නෑ...
මම දැනන් හිටියා දරුවෝ ඔයා මගේ එකම බලපොරොත්තුවනේ.. සර් එහෙම කියල හිනා උනා.. "

හා දැන් ඉතින් උසස් පෙලට හිටගනින්කෝ...
" සර් මම බයෝ කරනවා.. "
" ඒ මොකෝ ආසම ගණන් නේ.. ගණන් කරන්න.. "
" බෑ නර්ස් කෙනෙක් වෙන්න ඕනේ.. " සර් මට හිනා උනා.. සර් දන්නවා එක මගේ ජීවිතේ හීනේ කියල .. සර් මට බල කලේ නෑ..
මම බයෝ කළා දෙපාරක්.. පලවෙනි පාර ෆිසික්ස් වලට වව්ලෙක් තමා ගත්තේ.. හේතුව...   ( අහේතුව තමා ඉතින්... පාඩම් කලේ නෑ.. පරණ යාළුවො නැති වෙලා උනන්දුවෙන් වැඩ කරපු අය වෙනුවට ක්ලාස් කට් කරන අය එක්ක සෙට් උන එකේ අහේතුව තමා ඒ පඩිසන් දුන්නේ..)  කොහොම  හරි දෙවැනි පාර ති සාර්ථක ලෙස ගොඩ..
එකත් ගොඩ ගියේ සර් නිසා.. සර් බැණ බැණ මට කියල දුන්න දන්නේ නැති ඒවා.. බැන්නේ යාළුවො අත් අරින්න කියලා.. සර් නිසාම මම උසස් පෙළත් ගොඩ ගියා..
කැම්පස් නම් ගියේ නෑ..
කැම්පස් නර්සින් වලට ඉසෙඩ් මදි උනා..
මම නර්සින් ගැසට් කරනකල් බලන් හිටියා..
ටීචින් දැම්ම..
මුකුත් නෑ සද්දයක්..
සර් මට බැන්න අප්‍රමාණව.. මම පණ්ඩිතකමට බයෝ කලා කියලා..
මම ප්‍රයිවට් හොස්පිටල් එකක නර්සින් ගියේ ඒ ගැන තිබ්බ උණ නිසා..
කොහොමහරි 2009 මැයි 4.. ජීවිතේ මම අහපු කාලකන්නිම නිව්ස් එක මගේ කනට වැටුනා..
උන් හිටි තැන අමතක උනා මට..
මගේ පන්තියේ කොල්ලෙක් කතා කරලා මහා රෑ 11 ට විතර අඬ අඬ කිව්වා..
".... සර් නැති වෙලා ...."
ඔලුව පැලෙන්න වගේ උනා..
ජීවිතේ නැවතුනා වගේ උනා..
හුස්ම උඩට ගත්ත එක පහලට වැටෙන්නතුව ගියා..
අප්පච්චි...
අනේ..
................................................................
මම ගොඩාක් අවාසනාවන්තයි....
පහුවදා මම වැඩට ගියේ හවස සර් බලන්න යන්න හිතන්..
එත් ගෙදර එනකොට මගේ එෆෙයාර්  ගෙදරට ආරංචි වෙලා..
ගෙදර ගිනි අරන්..
" මට සර් බලන්න යන්න ඕනේ.. "
" බෑ කොහෙවත් යන්න දෙන්න බෑ තාත්තා එනකල්.. " අම්මා එහෙම කිව්වා..
මම බලන් හිටියා තාත්තා අවේ රෑ වෙලා..
සේරම වෙලා ඉවර උනාට පස්සේ..
මට මගේ අප්පච්චිගේ කකුල් දෙක අල්ලලා අන්තිම පාරට වඳින්න වාසනාව නැති උනා.
මම පහුවදාම සර්ලගෙ ගෙදර ගියා..
මිස් දුවන් ඇවිත් මගේ ඉස්සරහ ඇදගෙන වැටුනා..
" අප්පච්චි නැති උනා පොඩ්ඩි.. ඇයි අවේ නැත්තේ අප්පච්චි බලන්න.. මම කොච්චර පණිවිඩ යැව්වද.. "

" මට සමාවෙන්න මිස්.. "
................................................................

අනේ අප්පච්චි අදටත් මට මගේ හිත වද දෙනවා..
මගේ අප්පච්චිගේ අන්තිම ගමනට යන්න උනේ නැත්තේ මගේ  ආදරය නිසා.. මට ඒක නැති උන ඒක ගැන දුකක් නෑ.. එත්.. මට මගේ අප්පච්චිගේ කකුල් අල්ලලා වඳින්න බැරි උන ඒක ගැන දුකයි..

මම දැන් නර්ස් කෙනෙක් සර්...
සමාවෙන්න.. සිසු හෙදියක් මම...
මම මගේ ඉලක්කෙට ගියා සර්...
සර් උන්නනම් අප්පච්චි තරමටම සතුටු වේවි..
මට විශ්වාසයි ඒක..
මගේ දෙවැනි අප්පච්චිට බුදුසරණයි...
කොහේ හරි හොඳ තැනක ඉපදිලා ඇති...
මට ආපහු මේ සසරේ කොහේදී හරි මුණ ගැහේවි..
ස්තුති අප්පච්චි..
මම ආදරෙයි ඇත්තටම ගොඩාක්..
මම තාමත් අප්පච්චිගේ පොඩ්ඩි..



ප.ලි.
ගොඩක් කල් ඉඳන් මේ ගැන ලියන්න උන්නා..
හරියටම කිව්වොත් ජුලි දෙවෙනිදා ඉඳන්..
නෑ..
ඊටත් කලින් ඉඳන්...
ජුලි 2.. මගේ ගණන් සර්ගේ උපන් දිනේ...
මගේ ජීවිතේ මට මුණගැහුන එකම ගුරුවරයා..
මම මගේ දෙවෙනි අප්පච්චි කියල කියන්නේ එකයි මගේ සර් ට...

6 comments:

  1. හේ මේ කතාව මම දන්නැ නොවැ....දැනගන්න ඉතින් කියන්න එපැයි
    අන්තිමට මගේ ඇස් වලත් කදුළු ඔන්න.....හැඩැයි ඇහ් ලෙසටම......

    ReplyDelete
  2. හරිම දුක හිතෙන ලියමනක්... ඔයා වාසනාවන්තයි ඒ වගේ සර් කෙනෙක් ලබන්න

    ReplyDelete
    Replies
    1. ඔව් සහෝ...
      ඒ වගේ ගුරුවරු ලැබෙන්නේ කලාතුරකින් පිනකට...
      මම ඒ පින කරලා තිබ්බා....
      මගේ සර් මට ලැබෙන්න...

      Delete
  3. මම ගණන් ෆේල් ..හැබය් ඉගන ගත්තු ටික නිසා අදත් ගොඩ .. තාමත් මතක් වෙනවා ගණන් සර් ... මාස දෙකටම රුපියල් 200 යය්..එකත් හිටි ගමන් ගන්නේ නෑ.. සර් දෙන ගණන් හදන්න රුප ඇඳලා ඔලුවෙන් හිටවනවා..ඩී ඩි.. නැත්තම් හදන්න ලැබෙන්නේ නෑ මලාට....

    ReplyDelete
    Replies
    1. ඔව් 17 අයියේ....
      ගුරු දේවතාවන් එහෙම තමයි...
      ඒ වගේ අය කියල දෙන පොඩි දේත් කල්පකාලයක් හිතේ තැන්පත් වෙනවා...

      Delete